සවුදි අරාබි ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඩ්‍රෝන යානා නවයක් (09) එරට ගුවන් ආරක්ෂක පද්ධති මඟින් හඳුනාගෙන සාර්ථකව විනාශ කර දැමූ බව සවුදි ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
සවුදි අරාබිය සතු නවීනතම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති මඟින් මෙම ඩ්‍රෝන යානා ඉලක්ක කර විනාශ කර ඇති අතර, එමඟින් සිදුවිය හැකිව තිබූ විශාල විනාශයක් වැළකී ගොස් ඇති බව වාර්තා වේ.
මෙම ඩ්‍රෝන යානා එල්ල කළේ කුමන ස්ථානයක සිට ද යන්න මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැති වුවද, මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් යුදමය වාතාවරණය හමුවේ ඉරානය හෝ යේමනයේ හවුති කැරලිකරුවන් මෙයට සම්බන්ධ විය හැකි බවට විදේශ මාධ්‍ය සැක පළ කරයි.
ඇමරිකාව, ඉශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක සවුදි අරාබිය ද මෙලෙස ප්‍රහාරයන්ට ලක්වීම කලාපීය ආරක්ෂාවට දැඩි තර්ජනයක් වී තිබේ. පසුගිය දින කිහිපය පුරාම මැදපෙරදිග විවිධ රටවල ඇමරිකානු කඳවුරු සහ තෙල් නිධි ඉලක්ක කර ප්‍රහාර රැසක් වාර්තා විය.













