ඇමරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු ආරම්භ වූ යුදමය වාතාවරණය මේ වන විට තුන්වැනි දිනටත් (මාර්තු 04) අතිශය උත්සන්න වී තිබේ. ඉරානය විසින් දියත් කර ඇති ‘Shahed-136’ වර්ගයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ඇමරිකාව සහ එහි මිත්‍ර රටවල් වන බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල ගුවන් ආරක්ෂක පද්ධති දැඩි පීඩනයකට ලක්ව ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය වාර්තා කරයි.
ඉරානය භාවිත කරන එක් ‘Shahed’ ඩ්‍රෝන යානයක නිෂ්පාදන පිරිවැය ඇමරිකානු ඩොලර් 20,000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 60ක් පමණ) වැනි අඩු අගයක් ගනී. එහෙත් එම ඩ්‍රෝන යානයක් විනාශ කිරීම සඳහා ඇමරිකාව භාවිත කරන එක් ‘Patriot’ ආරක්ෂක මිසයිලයක පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 4ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 120ක් පමණ) වේ. මෙම අතිවිශාල පිරිවැය වෙනස හේතුවෙන් බටහිර රටවල යුද සංචිත වේගයෙන් ක්ෂය වීමේ අවදානමක් මතුව තිබේ.
ඉරාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මේ වන විටත් ඇමරිකානු යුද කඳවුරු, තෙල් පිරිපහදු මධ්‍යස්ථාන සහ සිවිල් ගොඩනැඟිලි වෙත එල්ල වී ඇත. අද (04) උදෑසන බේරූට් නගරයට දකුණින් පිහිටි අරමවුන් (Aramoun) ප්‍රදේශයට එල්ල වූ ඉශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ද දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අනුව, ඇමරිකානු නිෂ්පාදිත ‘Patriot’ පද්ධති මඟින් ඉරාන මිසයිල සහ ඩ්‍රෝන 90%කට වඩා සාර්ථකව විනාශ කිරීමට සමත්ව තිබේ. කෙසේ වෙතත්, ලාභදායී ආයුධ යොදාගෙන මිල අධික ආරක්ෂක පද්ධති වෙහෙසට පත් කිරීමේ ඉරාන උපායමාර්ගය හමුවේ, යුද්ධය දිගු කාලයක් ඇදී ගියහොත් පිරිවැය දරාගැනීම ඇමරිකාවට සහ එහි මිත්‍ර පාර්ශවයන්ට දැඩි අසීරු වනු ඇතැයි විචාරකයෝ පවසති.














