ඉරානය පුරා පනවා ඇති අන්තර්ජාල තහනම මේ වන විට පැය 120ක කාලයක් පසු කර ඇති බවත්, එරට සමස්ත අන්තර්ජාල සබඳතාව සාමාන්‍ය මට්ටමෙන් 1% දක්වා පහත වැටී ඇති බවත් ස්වාධීන නිරීක්ෂණ සංවිධානයක් වන NetBlocks තහවුරු කරයි. ඉරාන විදුලි සංදේශ සමාගම් විසින් ගෝලීය අන්තර්ජාලයට පිවිසීමට උත්සාහ කරන පරිශීලකයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවට තර්ජනය කරමින් සිටින බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් ඉරානය තුළ සිදුවන සැබෑ තත්ත්වය පිළිබඳ තොරතුරු ලබා ගැනීම ජාත්‍යන්තර ප්‍රජාවට දැඩි බාධාවක් වී තිබේ.
අන්තර්ජාල බාධාවන් මධ්‍යයේ ඉරානයේ අගනුවර වන ටෙහෙරානය අද (05) පෙරවරුවේ ද ප්‍රබල පිපිරීම් මාලාවකින් දෙදරුම් කා ඇත. අගනුවර උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර යන සෑම දෙසකින්ම පිපිරීම් හඬ ඇසුණු බවත්, ප්‍රහාර එල්ල වන්නේ කුමන ස්ථානවලටදැයි කිසිදු නිශ්චිත බවක් නොමැති බවත් ප්‍රදේශවාසීහු පවසති. ටෙහෙරානයෙන් පලා ආ පුද්ගලයෙකු CNN පුවත් සේවයට පවසා ඇත්තේ නගරයේ සෑම තැනකම බෝම්බ පතිත වන බවත්, ජනතාව තම නිවෙස්වල රැඳී සිටිනවාද නැතිනම් නගරයෙන් බැහැර වනවාද යන්න පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක පසුවන බවත්ය.
ඉරානයේ උසම කඳු මුදුන වන දමාවන්ඩ් (Damavand) අසල කුඩා නගරවලට පලා ආ පිරිස් පවසන්නේ රාත්‍රී කාලය පුරාම ප්‍රහාරක යානාවල ශබ්දය ඇසෙන බවයි. ටෙහෙරානයෙන් දකුණු දෙසට ගමන් කිරීමේදී දේශසීමා අසල සිටින විදේශීය හමුදාවන්ට බියෙන් පසුවන ජනතාව, උතුරු දෙසට ගමන් කිරීමේදී දැඩි රථවාහන තදබදයක සිරවීමේ අවදානමට මුහුණ දී සිටිති. මේ හේතුවෙන් බොහෝ පිරිසක් ආරක්ෂිත යැයි සිතන ඕනෑම ස්ථානයක රැඳී සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය තුළ ටෙහෙරානයේ රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ කුළුණු ද ප්‍රහාරයන්ට ලක්ව ඇති අතර, එමගින් මුළු ප්‍රදේශයම කම්පනයට පත්ව තිබේ. ඉරාන-ඊශ්‍රායල යුද්ධය තවදුරටත් උත්සන්න වීමත් සමඟ ඉරානය තුළ පවතින සන්නිවේදන සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ හමුදා මෙහෙයුම් දියත් වෙමින් පවතී. මෙම තත්ත්වය මත එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සිය පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධ වීමට ඇති නොහැකියාව පිළිබඳව ද මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.














