ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ජේමි සිඩන්ස් (Jamie Siddons) පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. තෙවන මට්ටමේ (Level 3) සුදුසුකම් ලත් ප්‍රවීණ පුහුණුකරුවෙකු වන සිඩන්ස්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පුහුණුකරුවෙකු ලෙස වසර ගණනාවක අත්දැකීම් සහිත පුද්ගලයෙකි.
ඔහු මීට පෙර 2007 සිට 2011 දක්වා කාලය තුළ බංග්ලාදේශ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කරමින් එරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ සැලකිය යුතු වෙනසක් කිරීමට දායක විය. මීට අමතරව ඔහු ඕස්ට්‍රේලියාවේ දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්තයේ වෙලින්ටන් ෆයර්බර්ඩ්ස් වැනි ප්‍රමුඛ පෙළේ කණ්ඩායම්වල ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිය නිපුණත්වය විදහා දක්වා ඇත. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දක්ෂතා තවදුරටත් ඔප්නැංවීම සඳහා ඔහුගේ මෙම ජාත්‍යන්තර පළපුරුද්ද බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරයි.














