බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් රුපියල් කෝටි 849ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවත්, පරිසරයට සිදුවන හානිය 102%කින් ඉහළ ගොස් ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (05) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. මහජන උපයෝගිතා කොමිසම විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක් ඇසුරෙන් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ, ගල් අඟුරු නැව් 09ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෙම දැවැන්ත වංචාව අනාවරණය වී ඇති බවයි. මෙම බාල ගල් අඟුරු භාවිතය නිසා බලාගාරවලින් අහසට නිකුත් වන අළු ප්‍රමාණය අධික ලෙස ඉහළ ගොස් ඇති බවත්, එමගින් ඉදිරියේදී “සල්ෆියුරික් වැසි” ඇතිවීමේ බරපතල පාරිසරික අවදානමක් පවතින බවත් ඒ මහතා අනතුරු ඇඟවීය.
මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පරිසර අධිකාරිය මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කළ රණවක මහතා, ජනතාව රවටා බාල ගල් අඟුරු ගෙන්වුවද විදුලි උත්පාදන යන්ත්‍ර රවටා අඛණ්ඩ විදුලිය ලබා දිය නොහැකි බව පෙන්වා දුන්නේය. ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ බිලියන 29ක පාඩුව ද මේ සමඟ සම්බන්ධ බවත්, සැපයුම් දාමය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ලබන ඔක්තෝම්බර් මාසය වන විට රටේ ගල් අඟුරු තොග අවසන් වීමේ අවදානමක් පවතින බවත් ඔහු පැවසීය. විෂය භාර අමාත්‍යවරයා පත් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බැවින්, විදුලි සැපයුම බිඳ වැටුණහොත් එහි වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.
කලාපීය ආරක්ෂාව සහ ආර්ථිකය පිළිබඳව ද අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, ඉරාන-ඊශ්‍රායල යුද්ධය නිසා තෙල් සහ ගෑස් මිල ඉහළ යාම ශ්‍රී ලංකාවට ඍජුවම බලපාන බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී නැව් අනතුරට පත්වීම සහ ප්‍රහාරවලට ලක්වීම නිසා මෙරට අපනයන කටයුතු ද අඩාල වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව කිසිසේත්ම මෙම යුද අර්බුදයකට ඈදා නොගත යුතු බවත්, අපේ දේශසීමා ආරක්ෂා කිරීමට පමණක් බැඳී සිටිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. තමන් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ විදේශ ණය නොගෙන බලාගාර ඉදිකළ බවත්, එවකදී බාල ගල් අඟුරු ගෙන්වූ සමාගම්වල ටෙන්ඩර් වහාම අවලංගු කර නීතිය ක්‍රියාත්මක කළ බවත් රණවක මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.













