බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් රුපියල් කෝටි 849ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවත්, ඒ හරහා පාරිසරික විනාශයක් නිර්මාණය වෙමින් පවතින බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (05) විශේෂ ප්‍රකාශයක් කරමින් අනාවරණය කළේය. මහජන උපයෝගිතා කොමිසම විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක් පදනම් කරගනිමින් ඔහු පෙන්වා දුන්නේ, ගල් අඟුරු නැව් 09ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෙම දැවැන්ත වංචාව හෙළි වී ඇති බවයි. මහජනතාව රවටා බාල ගල් අඟුරු ගෙන්වුවද විදුලි උත්පාදන යන්ත්‍ර රවටා අඛණ්ඩ විදුලිය ලබා දිය නොහැකි බවත්, මෙම තත්ත්වයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
මෙම බාල ගල් අඟුරු භාවිතය නිසා බලාගාරවලින් අහසට නිකුත් වන අළු ප්‍රමාණය 102%කින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් රණවක මහතා, මෙහි දරුණුතම ප්‍රතිඵලය ලෙස ඉදිරියේදී “සල්ෆියුරික් වැසි” ඇතිවීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීය. මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පරිසර අධිකාරිය කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඔහු ඉල්ලා සිටියේය. තවද, දැනට සැලසුම් කර ඇති ගල් අඟුරු නැව් 25ම පැමිණියද, ලබන ඔක්තෝම්බර් 02 වන විට මෙරට ගල් අඟුරු තොග අවසන් වීමේ අවදානමක් පවතින බවත්, සැපයුම අඩාල වුවහොත් එහි සම්පූර්ණ වගකීම අදාළ අමාත්‍යවරයා පත්කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා භාරගත යුතු බවත් ඔහු පැවසීය.
මැදපෙරදිග පවතින ඉරාන-ඊශ්‍රායල යුදමය වාතාවරණය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව ද අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, ඒ හේතුවෙන් තෙල් සහ ගෑස් මිල ඉහළ යාම මෙරටට දැඩි පහරක් බව ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම ඉන්දියාවට පැමිණි නැවක් ඉරානය බලා යන අතරතුර ප්‍රහාරයකට ලක්වීම නිසා මෙරට අපනයන කටයුතු ද අඩාල වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව කිසිසේත්ම මෙම යුද අර්බුදයකට ඈදා නොගත යුතු බවටත්, අපේ දේශසීමා ආරක්ෂාව කෙරෙහි පමණක් අවධානය යොමු කළ යුතු බවටත් ඔහු ඉල්ලීමක් කළේය. තමන් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ විදේශ රටවලින් මුදල් ලබා නොගෙන බලාගාර ඉදි කළ බවත්, බාල ගල් අඟුරු ගෙන්වූ සමාගම්වල ටෙන්ඩර් වහාම අවලංගු කිරීමට පියවර ගත් බවත් ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.














