ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ලෝන්ග් අයිලන්ඩ් හි සිදුවූ කුප්‍රකට ‘ගිල්ගෝ බීච්’ (Gilgo Beach) මාලා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන රෙක්ස් ඒ. හියුර්මන්ට (Rex A. Heuermann) එරෙහිව තීරණාත්මක සාක්ෂි රැසක් ප්‍රොසිකියුටර්වරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. කාන්තාවන් හත් දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටින හියුර්මන් සතු වූ බව කියන රහසිගත දුරකථන දත්ත (Burner phones) පරීක්ෂා කිරීමේදී ඔහු ලිංගික වධකයෙකු (Sexual sadist) බව සනාථ වන කරුණු හෙළි වී ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.
පසුගිය අඟහරුවාදා (මාර්තු 03) පැවති පූර්ව නඩු විභාගයේදී ඉදිරිපත් වූ වාර්තාවලට අනුව, සැකකරු ව්‍යාජ නම්වලින් ලියාපදිංචි කළ දුරකථන දෙකක් භාවිතා කරමින් වසර හතරක් ඇතුළත අවම වශයෙන් ලිංගික ශ්‍රමිකයන් 60 දෙනෙකු 500 වතාවකට වඩා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇත. එක් දුරකථනයක් හරහා පමණක් 2021 සහ 2022 අතර කාලයේ ලිංගික ශ්‍රමිකයන් 56 දෙනෙකු 300 වතාවකට වඩා සම්බන්ධ කරගෙන ඇති බවත්, අනෙක් දුරකථනයෙන් 2023 පෙබරවාරි දක්වා ලිංගික සේවාවලට අදාළ අංක 61ක් අමතා ඇති බවත් අනාවරණය වී තිබේ.
එමෙන්ම ඔහුගේ අන්තර්ජාල සෙවුම් ඉතිහාසය (Search history) පරීක්ෂා කිරීමේදී අතිශය දරුණු සහ විකෘති සහගත ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දහසකට වඩා සෙවීමට ඔහු කටයුතු කර ඇති බව හෙළි විය. විශේෂයෙන්ම වධහිංසාවට ලක්වූ කාන්තාවන්ගේ දර්ශන සෙවීමට ඔහු වැඩි උනන්දුවක් දක්වා ඇත. මීට අමතරව, ගිල්ගෝ බීච් ඝාතන පිළිබඳ පොලිස් පරීක්ෂණ සිදුවන ආකාරය, වින්දිතයන්ගේ ඡායාරූප සහ ඔවුන්ගේ පවුල්වල තොරතුරු සෙවීමට ද ඔහු මෙම රහසිගත දුරකථන භාවිතා කර ඇති බව දිස්ත්‍රික් නීතිඥ රේ ටියර්නි මහතා ප්‍රකාශ කළේය.
සැකකරු සෑම ඝාතනයක් සඳහාම වෙන වෙනම රහසිගත දුරකථන භාවිතා කර ඇති අතර, ඝාතනයෙන් කෙටි කලකට පසු එම දුරකථන විනාශ කිරීමට ද පියවර ගෙන තිබේ. මෙම නව සාක්ෂි මගින් සැකකරුගේ අපරාධ රටාව (Modus operandi) මැනවින් පැහැදිලි වන බව ප්‍රොසිකියුටර්වරු පෙන්වා දෙති. හියුර්මන් දැනට එල්ල වී ඇති සියලුම චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කර සිටින අතර, ඔහුට එරෙහි මෙම මාලා ඝාතන නඩුව 2026 සැප්තැම්බර් මාසයේදී විභාගයට ගැනීමට නියමිතය.














