මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති “Operation Epic Fury” යුදමය වාතාවරණය සහ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, මෙරට ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. අද (05) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේ, ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමේ නිරත ධීවරයින් කිසිදු හේතුවක් මත නුහුරු මුහුදු කලාපවලට හෝ නීතිවිරෝධී ගමන් මාර්ගවලට ඇතුළු නොවිය යුතු බවයි.
විශේෂයෙන්ම පසුගිය මාර්තු 04 වැනිදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේදී ඉරාන යුද නෞකාවක් අනතුරට පත්වීමේ සිදුවීමත් සමඟ, එම කලාපවල නාවික හමුදා ක්‍රියාන්විතයන් සහ ආරක්ෂක මුර සංචාර දැඩි කර ඇත. එවැනි පසුබිමක ධීවර යාත්‍රා අනුමත නොකළ කලාපවලට ඇතුළු වීමෙන් අනවශ්‍ය අනතුරුවලට හෝ අත්අඩංගුවට පත්වීම්වලට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ධීවරයින් තම යාත්‍රාවල ස්ථාපිත කර ඇති VMS (Vessel Monitoring System) පද්ධති අඛණ්ඩව ක්‍රියාත්මකව තැබීම අනිවාර්ය වේ.
මුහුදේදී කිසියම් හදිසි අවස්ථාවකට හෝ අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත්, වහාම කොළඹ නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීමේ සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) හෝ ධීවර දෙපාර්තමේන්තුවේ පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානය සම්බන්ධ කර ගන්නා ලෙස ධීවරයින්ට දැනුම් දී ඇත. මෙම පද්ධති පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, ඕනෑම ආපදා තත්ත්වයකදී කඩිනම් සහාය ලබා දීමට නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය සීරුවෙන් තබා තිබේ.
මෙම සාකච්ඡාවට එක්වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා සඳහන් කළේ, ධීවර වරායන් හරහා මෙම ආරක්ෂක උපදෙස් සියලුම බෝට්ටු හිමියන් වෙත කඩිනමින් යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. ජාතික ආරක්ෂාව සහ ධීවර ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රජය ලබා දෙන මෙම උපදෙස් අකුරටම පිළිපදින ලෙස ධීවර සමිතිවලින් ද ඉල්ලීමක් කෙරේ.
















