සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කඳවුරකට (RAF Akrotiri) ඉරාන නිෂ්පාදිත ඩ්‍රෝන යානයක් මගින් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, සයිප්‍රසයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ නෙදර්ලන්තය සිය යුද ශක්තිය එම කලාපයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. පසුගිය සඳුදා එල්ල වූ මෙම ප්‍රහාරය ඇමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් හමුදා ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධයට ප්‍රතිචාරයක් ලෙස සැලකෙන අතර, මේ හේතුවෙන් මධ්‍යධරණී මුහුදු කලාපය දැඩි යුද උණුසුමකට ලක්ව ඇත.
ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ තම සතු දියුණුම යුද නෞකාවක් වන “Cristobal Colon” ෆ්‍රිගේට් නෞකාව සයිප්‍රසයේ ආරක්ෂාව සහ සිවිල් වැසියන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොමු කරන බවයි. මෙය ප්‍රංශයේ “Charles de Gaulle” ගුවන් යානා වාහක නෞකාව සහ ග්‍රීක නාවික හමුදා නැව් සමඟ එක්ව කලාපීය ආරක්ෂාව තර කරනු ඇත. මීට අමතරව, මැදපෙරදිග කලාපයේ සිටින තම රටවැසියන් සහ සෙබළුන් 2,000කගේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් ආරක්ෂණ පද්ධති (Air-defence) ලබා දීමට ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි මහත්මිය තීරණය කර තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් (Keir Starmer) මහතා සඳහන් කළේ, ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්විය හැකි හෙලිකොප්ටර් යානා සහ “HMS Dragon” නම් අතිනවීන ගුවන් ආරක්ෂණ නෞකාව සයිප්‍රසය වෙත යවා ඇති බවයි. තත්පර 10ක් ඇතුළත මිසයිල 8ක් මුදාහැරිය හැකි ‘සී වයිපර්’ (Sea Viper) මිසයිල පද්ධතියෙන් මෙම නෞකාව සමන්විත වේ. කෙසේ වෙතත්, සයිප්‍රසයේ සිටින ජනතාව පවතින අනතුරුදායක තත්ත්වය සහ තොරතුරු හුවමාරු කිරීමේ මන්දගාමී බව පිළිබඳව සිය දැඩි බිය සහ අප්‍රසාදය පළ කර ඇති බව සයිප්‍රස් මහ කොමසාරිස්වරයා පවසා ඇත.
ඉරානයට එරෙහි යුද්ධයට සෘජුව දායක නොවන බව මුලින් ප්‍රකාශ කළද, ඇමෙරිකානු ඉල්ලීම මත එංගලන්තයේ සහ ඉන්දියන් සාගරයේ පිහිටි දියාගෝ ගාර්ෂියා (Diego Garcia) බ්‍රිතාන්‍ය කඳවුරු භාවිතා කිරීමට අග්‍රාමාත්‍ය ස්ටාර්මර් අවසර ලබා දී තිබේ. සයිප්‍රසයේ බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිත හානි වාර්තා නොවූවත්, පෙර ආරක්ෂක පියවරක් ලෙස එහි සිටි සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත. මැදපෙරදිග යුද්ධය යුරෝපීය කලාපය කරා ද ව්‍යාප්ත වීමේ අවදානමක් මෙමගින් මතු වී තිබේ.
















