ඉරානයට එරෙහිව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන යන “Operation Epic Fury” යුද ක්‍රියාමාර්ගය හෙළා දකිමින් විපක්ෂ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රකාශයක් සිදු කළේය. ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෝක බලවතා ලෙස හැසිරෙන ආකාරය ප්‍රශ්න කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ලෝකයේ සෙසු රටවල් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පෞද්ගලික බුදලයක් නොවන බවයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය: “අපි ට්‍රම්ප්ට බය වෙන්න ඕනෙද? ට්‍රම්ප් කියන්නේ කවුද, ගමේ ඉන්න චණ්ඩියෙක්ද? ලෝකයේ අනිත් රටවල් අයිති එයාගේ අම්මගේ තාත්තගේ දේපළවලටද? මෙහෙම හැසිරීම් අපි පිළිගන්න ඕනේ ඇයි?” යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියේය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර නිසා ලෝක සාමය බරපතල ලෙස අනතුරේ වැටී ඇති බවත්, මින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ මැදපෙරදිග සිටින ලාංකිකයන්ට එල්ල වන බලපෑම පිළිබඳව රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බවත් ඔහු තවදුරටත් අවධාරණය කළේය.
මෙම ගැටුම නිසා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ යන බවත්, ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීම වැනි සිදුවීම් හරහා යුද්ධය කලාපීය මට්ටමින් ව්‍යාප්ත වෙමින් පවතින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඊයේ (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම යුද වාතාවරණය හමුවේ ඇතිවිය හැකි ඉන්ධන හිඟය සහ ආර්ථික අර්බුද කළමනාකරණය කිරීමට රජය සූදානම් බව ප්‍රකාශ කර තිබූ පසුබිමක විපක්ෂයේ මෙම විවේචනය එල්ල විය.
විශේෂයෙන්ම ජාත්‍යන්තර දේශපාලනය තුළ මධ්‍යස්ථව කටයුතු කරන බව පවසන අතරතුර, මෙවැනි අසාධාරණ යුද මෙහෙයුම්වලට එරෙහිව ශ්‍රී ලංකාව සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව රෝහිත අබේගුණවර්ධන මහතාගේ අදහස විය. ඇමෙරිකානු බලපෑම් හමුවේ දණ නොනමා ස්වෛරී රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.














