ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් මසුන් ඇල්ලීමෙන් වළකින ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය. ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින අතිශය අවදානම් සහගත යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ. ඊයේ (04) අමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවක් ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ගිල්වා දැමීමත්, තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ රැඳී සිටීමත් හේතුවෙන් මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ගල්ෆ් කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ජාත්‍යන්තර මුහුදේ නිරත ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව සඳහා ධීවර දෙපාර්තමේන්තුව විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා අවධාරණය කළේ, ධීවරයන් සැමවිටම තමන් සම්ප්‍රදායිකව මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් රැඳී සිටිය යුතු බවත්, හමුදා කටයුතුවලට සම්බන්ධ බවට සැකකෙරෙන කිසිදු විදේශීය නෞකාවකට සමීප නොවිය යුතු බවත්ය. එමෙන්ම අනෙකුත් නෞකා සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීමෙන් හෝ ගනුදෙනු කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසත්, ගමන් බිමන් සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන නාවික මාර්ග පමණක් භාවිත කරන ලෙසත් ධීවරයන්ට දන්වා තිබේ. පවතින තත්ත්වය හමුවේ මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවකට හානියක් සිදුව නොමැති බව ද දෙපාර්තමේන්තුව සහතික කළේය.














