ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ස්වදේශ ආරක්ෂක ලේකම් (DHS) ධුරයෙන් ක්‍රිස්ටි නෝම් ඉවත් කර ඒ සඳහා ඔක්ලහෝමා ප්‍රාන්තයේ සෙනෙට් සභික මාර්ක්වේන් මුලින් පත් කිරීමට තීරණය කර තිබේ. මාස කිහිපයක් පුරා පැවති විවිධ මතභේදාත්මක තත්ත්වයන්ගෙන් පසු මෙම තීරණය ගෙන ඇති අතර, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු ඉවත් කළ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.
මාර්තු 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රිස්ටි නෝම් බටහිර අර්ධගෝලයේ විශේෂ නියෝජිතවරිය ලෙස පත් කරන බව ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේය. “මහා ඔක්ලහෝමා ප්‍රාන්තයේ ගෞරවනීය සෙනෙට් සභික මාර්ක්වේන් මුලින් ස්වදේශ ආරක්ෂක ලේකම් ලෙස පත් කරන බව මම සතුටින් දන්වා සිටිමි” යනුවෙන් එහි සඳහන් විය. කොංග්‍රස් මණ්ඩල විමසීම්වලදී නෝම් කළ ප්‍රකාශයන් පිළිබඳව ට්‍රම්ප් දැඩි නොසතුටින් සිටි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














