ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ මානව ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජපන් රජය රුපියල් මිලියන 32කට අධික මුදලක් පරිත්‍යාග කර තිබේ. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමටා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙයට අදාළ ගිවිසුම් අත්සන් කෙරුණු අතර මෙම ව්‍යාපෘති යටතේ කිලිනොච්චිය ප්‍රදේශයේ අලුතින් ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සහ කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 2,100කගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. විශේෂයෙන්ම ආර්ථික අපහසුතා සහ ගෘහස්ථ හිංසනයට මුහුණ දෙන ගැහැනු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ට අවශ්‍ය නේවාසික පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පුහුණුව ලබාදීමට කිලිනොච්චියේ ඉදිවන නව මධ්‍යස්ථානය හරහා අපේක්ෂා කෙරේ. 1989 වසරේ සිට ක්‍රියාත්මක ජපානයේ මෙම මානව ආරක්ෂක වැඩසටහන් මාලාව යටතේ මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 62ක ආධාර ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර මැදපෙරදිග පවතින අස්ථාවරත්වය හමුවේ මෙවැනි ජාත්‍යන්තර සහයෝගීතාවන් මෙරට දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට මහත් පිටුවහලක් වනු ඇත.














