ඉරානයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය ආරම්භ කර ඇති යුද මෙහෙයුම්වල පළමු පැය 100 තුළ පමණක් ඇමෙරිකානු රජයට ඩොලර් බිලියන 3.7 ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. වොෂින්ටනය පදනම් කරගත් ‘මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය’ (CSIS) පෙන්වා දෙන්නේ ඇමෙරිකාව මේ වන විට යුද්ධය වෙනුවෙන් දිනකට ඩොලර් මිලියන 891.4 ක මුදලක් වැය කරමින් සිටින බවයි.
මෙම යුදමය වාතාවරණය පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් මෙසේය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසන පරිදි මෙම යුද්ධය තවත් සති කිහිපයක් දක්වා ඇදී යා හැකිය. මෙහෙයුම් ආරම්භයේදී ඉතා සංකීර්ණ සහ මිල අධික අවි ආයුධ භාවිත කිරීම නිසා මුල් කාලසීමාවේ පිරිවැය ඉහළ ගොස් ඇත. ඉදිරියේදී පිරිවැය යම් තරමකින් අඩු වනු ඇතැයි අපේක්ෂා කළද, වත්මන් ආරක්ෂක අයවැයට වඩා වැඩි අතිරේක ප්‍රතිපාදන ප්‍රමාණයක් පෙන්ටගනයට (Pentagon) අවශ්‍ය වනු ඇති බව CSIS වාර්තාව පෙන්වා දෙයි.
මෙම යුද්ධය සඳහා අයවැය මගින් කලින් ප්‍රතිපාදන වෙන් කර නොමැති බැවින්, පවතින අරමුදල්වලින්ම මෙම වියදම් පියවා ගැනීමට උත්සාහ කළහොත් එය මෙහෙයුම් මට්ටමින් මෙන්ම දේශපාලනිකව ද දැඩි දුෂ්කරතා ඇති කළ හැකි බවට එම වාර්තාව අනතුරු අඟවයි.














