පසුගියදා ඇති වූ දිට්වා (Ditwa) ආපදා තත්ත්වයෙන් හානියට පත් කොලොන්නාව ආසනයේ විහාරස්ථාන 31ක් ඇතුළු දිවයිනේ සියලු ආගමික මධ්‍යස්ථාන යළි ගොඩනැගීමට රජය සෘජුව මැදිහත් වන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ගොතටුව නව නගරය ශ්‍රී ඤාණවිමලාරාම විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 600ක පිරිවැයකින් ඉදිකරනු ලබන නව දෙමහල් සංඝාවාසයට සහ දාන ශාලාවට මුල්ගල තැබීමේ මංගල අවස්ථාවට අද (08) සහභාගී වෙමිනි.
මෙහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ශාසනයට පූජා කළ තරුණ භික්ෂූන් වහන්සේලාගේ ආර්ථික අපහසුතා ඇති දෙමාපියන් වෙනුවෙන් විශේෂ නිවාස ව්‍යාපෘතියක් රජය ආරම්භ කර ඇති බවයි. “පැවිදි දිවියට පත්වූ භික්ෂූන් වහන්සේලාගේ දෙමාපියන්ගේ සැඳෑ සමය රැකබලා ගැනීම රජයේ වගකීමක් ලෙස සලකා මෙම පියවර ගෙන තිබෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ගොතටුව ශ්‍රී ඤාණවිමලාරාම විහාරාධිපති අතිපූජ්‍ය මහර ධම්මදස්සි හිමිපාණන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද පෙරවරු 9:38 ට යෙදුණු සුබ මුහුර්තියෙන් මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. ගම සහ පන්සල අතර පවතින සබඳතාවය රටේ යහපත් ඉදිරි ගමනට පන්නරයක් වන බවත්, බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරන භික්ෂූන් වහන්සේලා සහ සිද්ධස්ථාන රැකබලා ගැනීමට රජය කැපවී සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන මහතා ඇතුළු දායක සභාවේ පිරිසක් සහ විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගී වී සිටියහ.














