ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද්ධය අවසන් කළ යුතු කාලය පිළිබඳ තීරණය තමන් සහ ඉශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්ව ගන්නා “ඒකාබද්ධ” (Mutual) තීරණයක් වනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ‘ද ටයිම්ස් ඔෆ් ඉශ්‍රායල්’ (The Times of Israel) පුවත්පත සමඟ පැවති දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර, තමන් සහ නෙතන්යාහු මැදිහත් නොවන්නට ඉරානය විසින් ඉශ්‍රායලය සහ ඒ අවට ඇති සියල්ල විනාශ කර දමනු ඇති බවට ද ඔහු අනාවැකි පළ කළේය.
මෙම යුද්ධය අවසන් කිරීමේ තීරණය තනිව ගන්නවාද නැතහොත් නෙතන්යාහුට ද එහි බලයක් තිබේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවසුවේ, “මම හිතන්නේ එය දෙපාර්ශවයේම තීරණයක්… අපි ඒ ගැන නිරන්තරයෙන් කතා කරනවා. මම නියම වේලාවට තීරණයක් ගනීවි, නමුත් සියලු කරුණු සැලකිල්ලට ගනු ඇති,” යනුවෙනි. ඉශ්‍රායලය ඉලක්ක කරගෙන සිටි රටක් තමන් එක්ව විනාශ කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ඇමෙරිකාව සිය ප්‍රහාර නතර කළහොත් ඉශ්‍රායලය තනිව යුද්ධය ඉදිරියට ගෙන යනු ඇති දැයි විමසූ විට, ඒ පිළිබඳව අනුමාන කිරීම ප්‍රතික්ෂේප කළ ට්‍රම්ප්, එවැනි අවශ්‍යතාවක් මතු වනු ඇතැයි තමන් නොසිතන බව ද සඳහන් කළේය. මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ ඉදිරි යුද උපාය මාර්ග සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ඉශ්‍රායලය අතර පවතින දැඩි රාජ්‍යතාන්ත්‍රික සහ හමුදාමය සබඳතාව යළිත් වරක් තහවුරු වී තිබේ.














