මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියද, එම ආර්ථික කම්පනයන්ට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාව දැන් ඉතා යහපත් මට්ටමක පසුවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. බ්ලූම්බර්ග් පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ, මීට පෙර පැවැති ආර්ථික අර්බුදකාරී සමයේ ශුන්‍ය මට්ටමට ඇද වැටුණු මෙරට විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වී ඇති බැවින්, ඕනෑම බාහිර ආර්ථික බලපෑමකට මුහුණ දීම සඳහා ශක්තිමත් ආරක්ෂිත පවුරක් ගොඩනැගී ඇති බවයි.
මීට අමතරව, අර්බුද සමයේ 70% ක්ව පැවැති උද්ධමන අනුපාතය මේ වන විට 1.6% ක පහළ මට්ටමකට පැමිණ තිබීම නිසා, බාහිර මිල ඉහළ යාම් දේශීය ආර්ථිකයට දැඩි බලපෑමක් නොවන අයුරින් කළමනාකරණය කර ගැනීමට මහ බැංකුවට ප්‍රමාණවත් ඉඩකඩක් ලැබී තිබේ. පෙර පැවැති තත්ත්වය මෙන් විදේශ විනිමය හිඟකම නිසා ඉන්ධන පෝලිම් ඇති වීමේ අවදානමක් දැන් නොමැති බවත්, පවතින එකම අභියෝගය ගෝලීය සැපයුම් ජාලයන්හි ඇති විය හැකි ප්‍රමාදයන් පමණක් බවත් ඔහු පැහැදිලි කළේය. මෙවැනි අවස්ථාවලදී විදේශ විනිමය අනුපාතය වෙළඳපොළ ඉල්ලුමට අනුව හැසිරීමට ඉඩ හැරීම හරහා ආර්ථිකයේ ස්ථායීතාව ආරක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පවතින වැඩසටහන පිළිබඳව ද අදහස් දැක්වූ අධිපතිවරයා, දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සමාලෝචනය මෙරටට බලපෑ සුළි කුණාටු සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ප්‍රමාද වූ බවත්, ඒ පිළිබඳ සාකච්ඡා ලබන මාර්තු 15 වැනිදා පමණ නැවත ආරම්භ කරන බවත් ප්‍රකාශ කළේය. 2026 මැයි මාසය වන විට IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන මීළඟ ණය වාරිකය ලබා ගැනීම රජයේ අරමුණයි. වත්මන් ලෝක තත්ත්වය සහ ස්වභාවික විපත් සැලකිල්ලට ගෙන අදාළ ඉලක්කයන් සංශෝධනය කර ගැනීමට මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම තුළ ප්‍රමාණවත් නම්‍යශීලීභාවයක් පවතින බව ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවන මහ බැංකු අධිපතිවරයා, මෙරට දළ දේශීය නිෂ්පාදිතය 5% කට ආසන්න වර්ධනයක් අත්කර ගනු ඇති බවට අනාවැකි පළ කරයි. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර ඇස්තමේන්තු කළ 2% ක වර්ධන වේගයට වඩා සැලකිය යුතු ඉහළ අගයකි. කෙසේ වෙතත්, මැදපෙරදිග යුද ගැටුම් සති 4ක් හෝ 5කට වඩා දිග්ගැසුණහොත් එය ගෝලීය වෙළඳ මාර්ග සහ සැපයුම් ජාලයන්ට අහිතකර ලෙස බලපෑ හැකි බවට ඔහු අනතුරු අඟවන අතර, එවැනි තත්ත්වයක් තුළ පවා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම ක්‍රමවත්ව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මූල්‍ය ශක්තිය රට සතු බව ඔහු සහතික කරයි.














