මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් රජය උපරිම ප්‍රමුඛතාවයක් ලබා දෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය. මෑතකදී මැදපෙරදිග එල්ල වූ ප්‍රහාරවලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනාම මේ වන විට රෝහල්වලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත්, ඔවුන් මේ වන විට සුවය ලබමින් පසුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
මෙම සිදුවීමෙන් පසුව අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා එම පිරිසගේ සුවදුක් විමසීමට සහ අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කර තිබේ. ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා විශේෂ ක්ෂණික ඇමතුම් අංක පවා හඳුන්වා දී ඇති අතර, පවතින වාතාවරණය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටියි.
විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් මෙරට ආර්ථිකයට සපයන දායකත්වය අගය කළ අමාත්‍යවරයා, ඕනෑම හදිසි අවස්ථාවකදී ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට හෝ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ද සඳහන් කළේය. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය ආරක්ෂාව පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, තානාපති කාර්යාලය පනවන උපදෙස් පිළිපදින ලෙසත් රජය ඉල්ලා සිටියි.














