මැදපෙරදිග කලාපයේ, විශේෂයෙන්ම ඉරානය කේන්ද්‍ර කරගනිමින් උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් සමස්ත කලාපයේම මහජන සෞඛ්‍යය බරපතල අනතුරකට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පෙන්වා දෙන්නේ ඉරානයේ තෙල් පිරිපහදු සහ ගබඩාවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් වායුගෝලයට මුදාහැරෙන විෂ වායු සහ අංශු මගින් වාතය, ජලය සහ ආහාර දූෂණය වීමේ දැඩි අවදානමක් පවතින බවයි. ඉරානයේ තෙල් ගබඩා ඉලක්ක කරගත් ප්‍රහාරවලින් පසු තෙහෙරාන් නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට තෙල් මිශ්‍ර වූ කළු පැහැති වැසි පතිත වන බවට වාර්තා වී ඇත. මෙය සමේ පිළිස්සුම් සහ ශ්වසන පද්ධතියට බරපතල හානි සිදු කළ හැකි ඉතා විෂ සහිත තත්ත්වයක් බවට ඉරාන රතු අඩ සඳ සංගමය ද අනතුරු අඟවා තිබේ.
මෙම තත්ත්වය විශේෂයෙන්ම කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත ශ්වසන හෝ හෘද රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මාරාන්තික විය හැකි බව වෛද්‍ය ටෙඩ්‍රොස් අවධාරණය කරයි. දැනටමත් රෝහල් 13කට අධික සංඛ්‍යාවක් ප්‍රහාරවලින් හානියට පත්ව ඇති අතර, දූෂිත වාතය හේතුවෙන් 170,000කට අධික පිරිසක් හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතා පැමිණ ඇති බව ද වාර්තා වේ. සාමය යනු එකම විසඳුම බවත්, සෞඛ්‍ය පහසුකම් සහ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සියලු පාර්ශවයන්ගේ වගකීම බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටී.














