මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියද, සිය උපායමාර්ගික තෙල් සංචිත (Strategic Oil Reserves) මේ මොහොතේම මුදාහැරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව G7 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් සඳහන් කරයි.
ප්‍රංශ මුදල් අමාත්‍ය රෝලන්ඩ් ලෙස්කියුර් සඳහන් කළේ වෙළඳපොළ ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය වුවහොත් සංචිත මුදාහැරීමට සූදානම් වුවද, එම පියවර ගැනීමට තරම් තත්ත්වයක් තවමත් උදා වී නොමැති බවයි. එවැනි පියවරක් ගත යුත්තේ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සම්බන්ධීකරණය යටතේ ඒකාබද්ධව බව ඔහු පෙන්වා දෙයි. ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තෙල් බැරලයක මිල ඩොලර් 115 ඉක්මවා ගියද, යුරෝපා සංගමය පවසන්නේ යුරෝපය තුළ තවමත් ඉන්ධන හිඟයක් නොමැති බවයි. ජපානය ද සිය විශාල තෙල් සංචිත මුදාහැරීමට සූදානමින් සිටියද තවමත් අවසන් තීරණයක් ගෙන නැත.
ලෝක තෙල් සැපයුමෙන් 20%ක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කිරීම ආයෝජකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ මෙම සන්ධිය නැවත විවෘත කිරීම සඳහා නැව්වලට ආරක්ෂාව සපයන “ආරක්ෂක මෙහෙයුමක්” ක්‍රියාත්මක කිරීමට මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමේ අවදානමක් පවතින නමුත්, 2008 මූල්‍ය අර්බුදය වැනි දැවැන්ත කඩා වැටීමක් මෙවර සිදු නොවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පළ කරයි.














