චීන රජය විසින් ‘ජාතික සමගිය සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම’ යන නාමයෙන් හඳුන්වා දීමට නියමිත නව නීතියක් එරට වාර්ෂික පාර්ලිමේන්තු සැසිවාරයේදී සම්මත කර ගැනීමට නියමිතව ඇති අතර, එමඟින් සුළුජාතීන් රජයේ ප්‍රධාන මතවාදයට අනුගත කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් දැඩි වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන රජය මෙය “වැඩි සමගියක් තුළින් නවීකරණය කරා යන ගමනක්” ලෙස අර්ථකථනය කළද, මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ මෙමඟින් සුළුජාතීන් සතු අයිතිවාසිකම් සහ ඔවුන්ගේ සංස්කෘතික නිදහස බරපතල තර්ජනයකට ලක්වන බවයි.
මෙම නව නීතිය මඟින් සුළුජාතික භාෂාවලට පවතින පිළිගැනීම අවම කර මැන්ඩරින් භාෂාව ප්‍රචලිත කිරීම අනිවාර්ය කරන අතර, හන් චීන ජාතිකයින් සහ අනෙකුත් සුළුජාතීන් අතර සිදුවන විවාහයන් දිරිමත් කරමින් ඒවා වැළැක්වීමට ගන්නා ඕනෑම උත්සාහයක් තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ. එමෙන්ම, චීන කොමියුනිස්ට් පක්ෂයට ලැදිවන පරිදි දරුවන් පුහුණු කිරීම දෙමාපියන්ගේ වගකීමක් බවට පත් කර ඇති අතර, ජාතික සමගියට හානි වන බවට රජය සලකන ඕනෑම ක්‍රියාවක් තහනම් කිරීමට මෙමඟින් පුළුල් බලතල හිමිවේ.
ජනාධිපති ෂී ජින්පින්ගේ “ආගම් චීනීකරණය” කිරීමේ ප්‍රතිපත්තිය තහවුරු කෙරෙන මෙම නීතිය හරහා, ආගමික වතාවත් ද කොමියුනිස්ට් පක්ෂයේ වටිනාකම්වලට අනුකූලව සිදුවිය යුතු බව අවධාරණය කෙරේ. විශේෂයෙන්ම ෂින්ජියෑංහි උයිගර් මුස්ලිම්වරුන් සහ ටිබෙට් වැසියන් ඉලක්ක කර ගනිමින් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ දැඩි මර්දනකාරී පිළිවෙත් මෙමඟින් මූලික නීතියක් ලෙස ස්ථාපිත කිරීමට චීන බලධාරීන් සූදානම් වේ. මෙය අනාගතයේදී චීනය තුළ සිටින සුළුජාතීන් 55කගේම ස්වයං පාලන අයිතිය සහ අනන්‍යතාවය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.















