ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය නිවේදනය කරයි. අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල සංශෝධනය වුවද මීට පෙර ගාස්තු ඉහළ නොදැමූ බවත්, මෙවර ඉන්ධන මිල රුපියල් 22කින් ඉහළ යාම හමුවේ ක්ෂේත්‍රය පවත්වාගෙන යාම සඳහා අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදු වූ බවත් එම සංගමයේ සභාපති ලලිත් ධර්මවර්ධන මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මෙම ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 10,000ක මාසික ගාස්තුවක් ගෙවූ දරුවෙකු වෙනුවෙන් රුපියල් 500ක අතිරේක මුදලක් ගෙවීමට මවුපියන්ට සිදු වනු ඇත. අනෙකුත් ප්‍රවාහන සංගම් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම පොදු එකඟතාවයට පැමිණි බව සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. හදිසියේ සිදු වූ මෙම මිල ඉහළ යාම ප්‍රවාහන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවද මෙහිදී පෙන්වා දෙන ලදී.














