ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) බදාදා (11) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට නම් ප්‍රධාන කොන්දේසි තුනක් සපුරාලිය යුතු බවයි. ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම, යුද වන්දි ගෙවීම සහ අනාගතයේදී එල්ල විය හැකි ආක්‍රමණයන්ට එරෙහිව ස්ථිර ජාත්‍යන්තර සහතික ලබා දීම එම කොන්දේසි වේ. ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කළේ මෙම කොන්දේසි සාකච්ඡා කළ නොහැකි පූර්ව අවශ්‍යතාවන් බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම ගැටුම ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට පළ කළ අදහස් ඉරාන ජනාධිපතිවරයාගේ මෙම නිවේදනයත් සමඟ අභියෝගයට ලක්ව තිබේ. මේ අතරතුර, ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ බීරූට් නුවර ‘ඩහියේ’ (Dahieh) ප්‍රදේශයේ හෙස්බොල්ලා යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර, එහි පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස දන්වා ඇත. හෙස්බොල්ලා සංවිධානය ද ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශවල පාසල් සහ ජනාවාස ඉලක්ක කරගනිමින් දෛනිකව රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් අරග්චි (Seyed Abbas Araghchi) පවසන්නේ සිය රටේ පැරණිතම බැංකුවක ශාඛාවක් සේවකයන් පිරි සිටියදීම බෝම්බ ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, ජාතික යටිතල පහසුකම්වලට එල්ල වන මෙම ප්‍රහාරයන්ට අනිවාර්යයෙන්ම ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත්ය. කලාපයේ පවතින මෙම උග්‍ර මිලිටරිමය ක්‍රියාකාරකම් හමුවේ සාම සාකච්ඡා සඳහා පවතින ඉඩකඩ වඩ වඩාත් පටු වෙමින් පවතින බව දේශපාලන විචාරකයෝ පවසති.

















