ඇමෙරිකාවේ ප්‍රමුඛතම තාක්ෂණික දැවැන්තයින් පිරිසක් ට්‍රම්ප් පරිපාලනයේ නායකයින්ට එරෙහිව ඇන්ත්‍රොපික් (Anthropic) සමාගම ගොනු කර ඇති නඩුවට සහය පළ කරමින් පෙරමුණට පැමිණ සිටිති. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) විසින් ඇන්ත්‍රොපික් සමාගම “සැපයුම් දාම අවදානමක්” (Supply chain risk) ලෙස නම් කිරීමට ගත් පෙර නොවූ විරූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මෙම නඩුකරයට ගූගල් (Google), ඇමසන් (Amazon), ඇපල් (Apple) සහ මයික්‍රොසොෆ්ට් (Microsoft) යන සමාගම් පසුගිය සඳුදා සිට සිය ප්‍රසිද්ධ සහයෝගය ප්‍රකාශ කර තිබේ.
අදාළ නීතිමය ලේඛන මගින් මෙම තාක්ෂණික දැවැන්තයින් පෙන්වා දෙන්නේ, ජනතාව සමූහ වශයෙන් නිරීක්ෂණය කිරීමට (Mass surveillance) සහ ස්වයංක්‍රීය අවි ආයුධ (Autonomous weapons) සඳහා සිය මෙවලම් භාවිතා කිරීමට ඉඩ ලබා දීම ඇන්ත්‍රොපික් සමාගම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රජය ඔවුන්ගෙන් පළිගැනීමට උත්සාහ කරන බවයි. රජයේ මෙම හැසිරීම සමස්ත තාක්ෂණික ක්ෂේත්‍රයටම දැඩි අහිතකර බලපෑම් ඇති කළ හැකි බවට මයික්‍රොසොෆ්ට් සමාගම අනතුරු අඟවයි. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් දේශීය මහා පරිමාණ නිරීක්ෂණ කටයුතුවලට හෝ ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් ස්වාධීනව යුද්ධයක් ආරම්භ කළ හැකි මට්ටමට රට පත් කිරීමට යොදා නොගත යුතු බවට ඇන්ත්‍රොපික් සමාගම දරන මතය සමඟ තමන් එකඟ වන බව මයික්‍රොසොෆ්ට් සමාගම වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ගූගල්, ඇපල් සහ එන්විඩියා (Nvidia) ඇතුළු සමාගම් නියෝජනය කරන “Chamber of Progress” නම් තාක්ෂණික උපදේශක කණ්ඩායම ද මෙම නඩුවට අදාළව මැදිහත් වෙමින් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ සිය කනස්සල්ල පළ කර තිබේ. ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය (First Amendment) මගින් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ ආරක්ෂාවට රජයේ මෙම ක්‍රියාවන් මගින් එල්ල වන බලපෑම පිළිබඳව ඔවුන් එහිදී දැඩිව ප්‍රශ්න කර ඇත.














