මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා මැයි මස මුල දක්වා සිය ගුවන් ගමන් වාරවලින් 5%ක්, එනම් ගමන් වාර 1,100ක් පමණ කපා හැරීමට එයාර් නිව්සීලන්තය (Air New Zealand) පියවර ගෙන තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම තීරණය නිසා මගීන් 44,000කට පමණ සිය ගමන් සැලසුම් වෙනස් කර ගැනීමට සිදු වනු ඇත.
ඉන්ධන මිල ඉහළ යාමේ පීඩනය හමුවේ ඔස්ට්‍රේලියාවේ ක්වාන්ටාස් (Qantas), තායි එයාර්වේස් (Thai Airways) සහ ස්කැන්ඩිනේවියානු SAS වැනි ගුවන් සේවා ද සිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නංවා තිබේ. විශේෂයෙන්ම මැදපෙරදිග ගුවන් කලාපය අවහිර වීම සහ ඉරානය විසින් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවට කළ අනතුරු ඇඟවීම් ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ඇද දමා ඇත.
කෙසේ වෙතත්, මැදපෙරදිග ගුවන් කලාපය මඟහැර යුරෝපය බලා යන මගීන් සඳහා අමෙරිකාව හරහා යන ගුවන් මාර්ග මේ වන විට වඩාත් ජනප්‍රිය වී ඇති බව එයාර් නිව්සීලන්ත ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් රවිශංකර් මහතා ප්‍රකාශ කළේය. මේ අතර, වියට්නාමය වැනි රටවල් ද ඉදිරි මාසවලදී ඉන්ධන හිඟයකට මුහුණ දීමේ අවදානමක් පවතින බවට එරට රජය අනතුරු අඟවා තිබේ.














