බ්‍රිතාන්‍යයේ සවුත්හැම්ප්ටන් (Southampton) වරායේ සිට නිව්යෝර්ක් දක්වා සැතපුම් 3,400ක මුහුදු ගමනක් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක රහසින් ගමන් කළ බ්‍රිතාන්‍ය රතු නරියෙකු (Red Fox) පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රථවාහන ප්‍රවාහනය කරන නෞකාවකට හොර රහසේ ගොඩවී ඇති මෙම නරියා, පෙබරවාරි 4 වැනිදා බ්‍රිතාන්‍යයෙන් පිටත්ව පෙබරවාරි 18 වැනිදා නිව්යෝර්ක් වරායට ළඟා වී ඇති බව සඳහන් වේ. වරාය නිලධාරීන් විසින් නෞකාව පරීක්ෂා කිරීමේදී මෙම “කපටි මගියා” සොයාගෙන ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් සත්වයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුව බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානය (Bronx Zoo) වෙත භාර දී තිබේ.
වයස අවුරුදු දෙකක් පමණ වන, කිලෝග්‍රෑම් 5ක බරින් යුත් මෙම නරියා දැනට සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය මධ්‍යස්ථානයේ රැකවරණය ලබන අතර, ඔහු ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති. දීර්ඝ මුහුදු ගමනකින් පසු නරියා මේ වන විට නව පරිසරයට හුරු වෙමින් පවතින බවත්, අවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණ නිම කිරීමෙන් පසු ඔහුට ස්ථිර නිවහනක් ලබා දීමට කටයුතු කරන බවත් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ කීත් ලවෙට් මහතා ප්‍රකාශ කළේය. බ්‍රිතාන්‍යයේ සිට අත්ලාන්තික් සාගරය තරණය කර ඇමරිකාවට පැමිණි මෙම නරියාගේ අසාමාන්‍ය සංචාරය මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.















