ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එම මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (12) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙම ක්‍රියාවලියේ මූලික අරමුණ වන්නේ පාරිභෝගිකයාට සාධාරණ මිලකට, කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම මෙන්ම නව සමාගම්වල රජයේ හිමිකාරිත්වය පවත්වා ගනිමින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම බවයි.
ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදුලිබල මණ්ඩලයේ සේවකයන් දැනට භුක්ති විඳින සියලුම හිමිකම් සහ අයිතිවාසිකම් නව සමාගම් තුළ ද සුරක්ෂිත කරන බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික විය. මීට අමතරව, මණ්ඩලය තුළ දීර්ඝ කාලයක සිට විසඳා නොතිබූ ගැටලු කිහිපයක් පිළිබඳව ද වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කෙරිණි. සංක්‍රාන්ති සමයේදී සේවකයන් සහ නව කළමනාකාරිත්වය අතර අන්‍යෝන්‍ය අවබෝධය පවත්වා ගැනීම සඳහා නිල යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ පාරිභෝගිකයාට උසස් සේවාවක් ලබා දීමට මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය බැවින්, එය සාර්ථක කර ගැනීමට පූර්ණ සහය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේය.














