ඉරානය, ඇමෙරිකාව සහ ඉස්රායලය අතර මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් එහි වසන විදේශිකයන් විශාල වශයෙන් පලායාමත් සමඟ, දහස් සංඛ්‍යාත සුරතල් සතුන් අතහැර දමා යාමේ අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වී තිබේ. විශේෂයෙන්ම ඩුබායි වැනි නගරවල වෙසෙන විදේශිකයන් සිය මව් රටවල් බලා කඩිනමින් පිටව යාමට උත්සාහ කිරීමේදී සිය සුරතලුන් රැගෙන යාමට නොහැකි වීම නිසා ඔවුන්ව මහමග හෝ නිවාස තුළම දමා යන බව වාර්තා වේ. සත්ව සුභසාධන සංගම් (RSPCA) පෙන්වා දෙන්නේ මෙම සතුන් යුද්ධයේ “සැඟවුණු ගොදුරු” බවට පත්ව ඇති බවයි.
වාර්තාවලට අනුව පසුගිය මාර්තු 01 වනදා සිට මේ දක්වා බ්‍රිතාන්‍ය ජාතිකයන් පමණක් 45,000කට අධික පිරිසක් මැදපෙරදිග කලාපයෙන් පිටව ගොස් ඇති අතර, හදිසි ඉවත් කිරීම් (Evacuations) හමුවේ සතුන් සඳහා ඉඩකඩ වෙන්කර ගැනීම අතිශය දුෂ්කර වී තිබේ. ඩුබායි හි ‘K9 Friends’ වැනි සත්ව සහන සංවිධාන පවසන්නේ හදිසියේ රටින් පිටව යන බොහෝ පිරිසක් සිය ආදරණීය සුරතලුන්ව අසරණ කර දමා යන බවයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ඩුබායි නගර සභාව විසින් නගරය පුරා කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන සත්ව ආහාර මධ්‍යස්ථාන 12ක් ස්ථාපිත කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතියට අනුව සුරතල් සතුන් අතහැර දමා යාම බරපතළ වරදක් වන අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ ගණනින් දඩ මුදල් පැනවිය හැකිය. කෙසේ වෙතත්, යුද බිය නිසා පලායන බොහෝ පිරිසක් එම නීති නොසලකා හරිමින් සිටින බව සත්ව ක්‍රියාකාරීහු පෙන්වා දෙති. අර්බුදකාරී අවස්ථාවක වුවද තම සුරතල් සතුන් පිළිබඳ වගකීම අත්නොහරින ලෙසත්, ඔවුන් සඳහා නිසි සැලසුමක් සකස් කරන ලෙසත් සහන සේවා කණ්ඩායම් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














