ඉරානයට එරෙහි ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුම සඳහා රතු මුහුදේ ස්ථානගත කර ඇති ඇමෙරිකානු නාවික හමුදාවේ අතිනවීන USS ජෙරල්ඩ් ආර්. ෆෝඩ් (CVN 78) ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ අද (12) ගින්නක් හටගෙන තිබේ. එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම ගින්න හටගෙන ඇත්තේ නෞකාවේ ප්‍රධාන රෙදි සෝදන අංශය (Laundry spaces) තුළ වන අතර එය කිසිදු සටන් මෙහෙයුමකට සම්බන්ධ නොවන හදිසි අනතුරක් බව තහවුරු කර ඇත.
ගින්න හටගත් වහාම එය පාලනය කිරීමට නෞකාවේ ගිනි නිවන කණ්ඩායම් සමත්වී ඇති අතර, නෞකාවේ එන්ජින් ක්‍රියාකාරිත්වයට හෝ ප්‍රචාලන පද්ධතියට (Propulsion plant) ඉන් කිසිදු හානියක් සිදුවී නොමැත. නෞකාව මේ වන විටත් පූර්ණ මෙහෙයුම් මට්ටමේ පවතින බවත්, නියමිත පරිදි ගුවන් මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවත් නාවික හමුදා බලධාරීන් ප්‍රකාශ කර සිටියි.
මෙම අහඹු සිදුවීමෙන් නාවිකයන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට නෞකාව තුළම වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් ස්ථාවර මට්ටමේ පසුවන බවත් වාර්තා වේ. ලොව විශාලතම සහ නවීනතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන USS ජෙරල්ඩ් ආර්. ෆෝඩ්, මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු යුද ශක්තිය ප්‍රදර්ශනය කරන ප්‍රධානතම නෞකාව ලෙස සැළකේ.














