ශ්‍රී ලංකික ශ්‍රමිකයින් සම්ප්‍රදායික මැදපෙරදිග රැකියා වෙළඳපොළට පමණක් සීමා නොවී, ඉහළ වැටුප් සහිත අනෙකුත් විදේශීය රටවල රැකියා සඳහා යොමු කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ආරම්භ කර තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් අස්ථාවරත්වය ද සැලකිල්ලට ගනිමින්, ආරක්ෂිත සහ වැඩි ප්‍රතිලාභ සහිත රැකියා අවස්ථා කරා තරුණ පිරිස් යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රායලය සහ රුමේනියාව වැනි රටවල පවතින විවිධ වෘත්තීය අවස්ථා සඳහා ශ්‍රී ලංකිකයන්ට ඇති ඉඩකඩ පිළිබඳව තරුණ පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ගොඩකවෙලදී පැවැත්විණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමුව පළාත් ප්‍රධාන කාර්යාලය විසින් මෙය සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීනි නිලුෂා ගමගේ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ නිලධාරීන් පෙන්වා දුන්නේ, පුහුණු ශ්‍රමිකයින් ලෙස ලෝකයේ දියුණු රටවලට පිවිසීම හරහා මෙරටට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බවයි. විදේශ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට අවශ්‍ය භාෂා පුහුණුව සහ වෘත්තීය නිපුණතාවය ලබා දීමට ද කාර්යාංශය මේ වන විට කටයුතු සූදානම් කර ඇත.














