ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් පොලොන්නරුව චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගියදා පොලොන්නරුවේදී පැවැත්විණි. සෑම වසරකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය මෙවර මාර්තු 12 වනදාට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
පොලොන්නරුව ඔර්ලෝසු කණුව අසලින් ආරම්භ වූ දැනුවත් කිරීමේ පාගමන කදුරුවෙල මධ්‍යම බස් නැවතුම්පොළ දක්වා ගමන් කළ අතර, එහිදී වකුගඩු රෝග පිළිබඳව දැනුවත් කෙරෙන වීදි නාට්‍යයක් ද රඟ දක්වන ලදී. මීට අමතරව, අති නවීන තාක්ෂණයෙන් යුත් ජංගම රසායනාගාර බස් රථයක් යොදා ගනිමින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ විශේෂ ජංගම සායනයක් ද කදුරුවෙලදී පැවැත්විණි.
“සැමට නිරෝගී වකුගඩුවක්, සැමට සුවසෙත සදමින් වකුගඩුව රැකගනිමු” යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහන මගින් වකුගඩුවල වැදගත්කම, රෝග ව්‍යාප්තිය සහ කල්තියා රෝග හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව විශාල ජනතාවක් දැනුවත් කිරීමට සෞඛ්‍ය නිලධාරීන්ට හැකි විය. රෝගය වැළඳීමේ අවදානම සහිත පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් ඉදිරි ප්‍රතිකාර සඳහා යොමු කිරීම ද මෙහිදී විශේෂ අවධානයට ලක් විය.














