ඉරානයේ බලශක්ති අපනයනයේ ප්‍රධානතම මධ්‍යස්ථානය වන කර්ග් දූපතේ පිහිටි සියලුම යුදමය ඉලක්ක විනාශ කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කිරීමට ඉරානය ගත් උත්සාහයට ප්‍රතිචාර වශයෙන් තම නියෝගය මත ඇමරිකානු මධ්‍යම අණසක (CENTCOM) විසින් මෙම ප්‍රහාරය දියත් කළ බව ඔහු සනාථ කළේය.
“මීට සුළු මොහොතකට පෙර මැදපෙරදිග ඉතිහාසයේ එල්ල කළ ප්‍රබලම බෝම්බ ප්‍රහාරයක් දියත් කර ඉරානයේ කිරුළ බඳු වූ කර්ග් දූපතේ සෑම යුද ඉලක්කයක්ම සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට අපි කටයුතු කළා” යනුවෙන් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහන් කර ඇත. කෙසේ වෙතත් මානුෂීය හේතූන් මත එහි පවතින තෙල් යටිතල පහසුකම් විනාශ කිරීමට තමා මෙතෙක් තීරණය කර නොමැති බවත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට යම් හෝ බාධාවක් එල්ල වුවහොත් එම තීරණය වහාම වෙනස් කරන බවත් ඔහු අවධාරණය කළේය.
පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි මෙම දූපත ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරන ප්‍රධානතම පර්යන්තයයි
හෝමූස් සමුද්‍ර සන්ධියට ආසන්නව පිහිටා ඇති බැවින් මෙය ඉරානයේ ආර්ථික සහ උපක්‍රමික මර්මස්ථානයක් ලෙස සැලකේ
මෙම දූපත ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම මගින් ඉරානයේ ආර්ථික ශක්තියට මරු පහරක් එල්ල කිරීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටී
මෙම ප්‍රහාරයට සමගාමීව USS Tripoli ඇතුළු ඇමරිකානු නාවික බලඇණි මැදපෙරදිග දෙසට ගමන් කරමින් පවතින අතර, කලාපය තුළ පූර්ණ පරිමාණයේ යුද්ධයක් ඇති වීමේ අවදානම මේ වන විට බෙහෙවින් ඉහළ ගොස් ඇත.














