ලෙබනනය දරුණු දේශපාලන හා යුදමය අරාජිකත්වයකට ඇද වැටීම වැළැක්වීම සඳහා හැකි සෑම පියවරක්ම ගත යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි. ලෙබනන ජනාධිපති, අගමැති සහ කථානායකවරයා සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කළේ හෙස්බුල්ලා සංවිධානය වහාම සිය ප්‍රහාර නතර කළ යුතු අතර, ඉශ්‍රායලය ද මහා පරිමාණ ගුවන් ප්‍රහාර සහ ආක්‍රමණ නතර කළ යුතු බවයි.
ඉශ්‍රායලය සමඟ සෘජු සාකච්ඡා සඳහා ලෙබනන නායකයන් කැමැත්ත පළ කර ඇති බවත්, සටන් විරාමයක් කරා යාමටත් ලෙබනන ස්වෛරීභාවය තහවුරු කිරීමටත් ලැබී ඇති මෙම අවස්ථාව ඉශ්‍රායලය විසින් මඟ නොහැරිය යුතු බවත් මැක්‍රොන් පෙන්වා දුන්නේය. ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන් සාකච්ඡා සඳහා සූදානම් බව මීට පෙරද ප්‍රකාශ කළත් ඉශ්‍රායලයෙන් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. 1948 වසරේ සිට ලෙබනනය සහ ඉශ්‍රායලය නිල වශයෙන් පසුවන්නේ යුදමය වාතාවරණයක වීම මෙම සාකච්ඡාවල ඇති වැදගත්කම තවදුරටත් ඉහළ නංවයි.














