ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක අද (2026 මාර්තු 16) අලුයම ඇති වූ හදිසි ගින්නකින් රෝගීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බුබනේෂ්වර් නුවර පිහිටි මෙම රෝහලේ කම්පන සහගත ප්‍රතිකාර ඒකකයේ (Trauma care unit) ගින්න හටගන්නා අවස්ථාවේදී රෝගීන් 23 දෙනෙකු එහි ප්‍රතිකාර ලබමින් සිට ඇත. ගින්නෙන් බේරා ගැනීම සඳහා රෝගීන් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙම මරණ සිදුව ඇති බව බලධාරීහු පවසති. මීට අමතරව තවත් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය ගින්න නිසා හෝ ඔවුන් ලබා සිටි පෙර තුවාල නිසා දරුණු වූයේද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
ඔඩිෂා ප්‍රාන්ත මහ ඇමති මෝහන් චරන් මාජි රෝහල වෙත පැමිණ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විදුලි කෙටි පරිපථයක් (Short circuit) හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැක කරන බවයි. රෝගීන් බේරා ගැනීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ සිය ජීවිත අවදානම නොතකා කටයුතු කර ඇති බවත්, එම මෙහෙයුම් අතරතුර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ද තුවාල ලබා දැනට ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ශෝචනීය සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ද මහ ඇමතිවරයා නියෝග කර තිබේ.














