ඉරානය සහ ඉන්දියාව අතර පැවැති සෘජු රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, දැඩි අවදානමකට ලක්ව ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ඉන්දීය ගෑස් නැව් දෙකකට ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලැබී ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා තහවුරු කරයි. ෆිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ සෙනසුරාදා දින ඉන්දීය ධජය සහිත මෙම නෞකා දෙකට ඉරාන බලධාරීන් විසින් අවසර ලබා දුන් බවයි.
ඉන්දියාව සිය දෛනික අවශ්‍යතාව සඳහා භාවිත කරන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) ප්‍රමාණයෙන් 60%ක්ම ආනයනය කරන අතර, එම සැපයුම්වලින් 90%ක්ම පැමිණෙන්නේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි ගල්ෆ් කලාපීය රටවලිනි. මෙම සැපයුම්වලින් අතිමහත් බහුතරයක් ප්‍රවාහනය කරනු ලබන්නේ වර්තමාන යුද ගැටුම් හේතුවෙන් අවහිර වී ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය. ඉන්දියාවේ නිවාස මිලියන 330කට අධික ප්‍රමාණයක ආහාර පිසීමේ කටයුතු සඳහා LPG අත්‍යවශ්‍ය වන බැවින්, මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ඉන්දීය බලශක්ති සුරක්ෂිතතාවට තීරණාත්මක බලපෑමක් එල්ල කරයි.














