රුසියාවෙන් ඉන්ධන නෞකා දෙකක් ලබාගැනීම සඳහා වන ගෙවීම් ඇමරිකානු ඩොලර් වෙනුවට රුසියානු ‘රූබල්’ හෝ චීන ‘යුවාන්’ මුදලින් සිදුකරන ලෙස රුසියානු බලධාරීන් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. පවතින ජාත්‍යන්තර තත්ත්වය හමුවේ ඩොලර්වලින් ගෙවීම් භාරගත නොහැකි බවත්, අදාළ ඉන්ධන තොග නිකුත් කරනු ලබන්නේ පූර්ව ගෙවීම් (Advance Payments) පදනම මත පමණක් බවත් රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් මෙරට රුසියානු තානාපතිවරයා හමු විය. එහිදී තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ මීට පෙර රුසියාව යෝජනා කළ න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ නම් ලංකාවට මෙවැනි බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන බවයි.
කෙසේ වෙතත්, රුසියාවේ යෝජනාවට එකඟව අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කර ඇත. නමුත් මෙරට බැංකු පද්ධතිය තුළ රූබල් සහ යුවාන්වලින් සෘජු ගනුදෙනු කිරීමේ තාක්ෂණික පහසුකම් තවමත් පවතින්නේ සීමිත මට්ටමක බැවින්, එම ගනුදෙනු සිදුකරන ආකාරය පිළිබඳව මේ වන විට වැඩිදුර අවධානය යොමුව තිබේ.














