ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) අද ප්‍රකාශ කළේ ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් ඇතුළු ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් “දැවැන්ත” ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බවයි. ටෙහෙරානයට අමතරව නිරිතදිග ඉරානයේ ෂිරාස් (Shiraz) සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් (Tabriz) යන නගර වෙත මෙම ප්‍රහාර එකවර එල්ල කර ඇති බව වාර්තා වේ.
ඉරාන පාලන තන්ත්‍රයේ “යටිතල පහසුකම්” ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළද, පෙබරවාරි 28 වනදා අමෙරිකාව සමඟ එක්ව ආරම්භ කළ මෙම යුද්ධය හේතුවෙන් මේ වන විට සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ටෙහෙරාන් නුවර අවට ප්‍රදේශවලින් ප්‍රබල පිපිරුම් හඬවල් ඇසෙන බවත්, ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙමින් පවතින බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ප්‍රහාර මාලාවත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වී ඇති අතර, එය හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාවට සහ ගෝලීය තෙල් සැපයුමට සෘජු බලපෑමක් එල්ල කර තිබේ. ඊශ්‍රායලයේ සහ අමෙරිකාවේ මෙම ඒකාබද්ධ යුද මෙහෙයුම් හමුවේ ඉරානය සිය ප්‍රතිප්‍රහාර දියත් කරන්නේ කෙසේ දැයි ලෝක දේශපාලන විචාරකයෝ දැඩි අවධානයෙන් පසුවෙති.














