ලෝක වෙළඳපොළේ පවතින තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව වෙළෙඳ, වාණිජ සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. පවතින දෛනික තත්ත්වය අඛණ්ඩව විමර්ශනය කරමින් පාරිභෝගික ජනතාවට සහනදායී ලෙස භාණ්ඩ ලබාදීම කළමනාකරණය කිරීමට රජය උපරිම උත්සාහයක් ගනිමින් සිටින බව අද (16) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, බලශක්ති අර්බුදය මධ්‍යයේ වුවද ගෑස් සැපයුම සම්බන්ධයෙන් ජනතාව බිය විය යුතු නැති බවත්, එකඟ වූ පරිදි ලබන දෙසැම්බර් 31 වනදා දක්වා අඛණ්ඩව ගෑස් සැපයීමට අදාළ සමාගම් කටයුතු කරමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය. වෙළඳපොළ තුළ දැනට ගෑස් හිඟයක් නොමැති අතර එය ඉදිරියටත් එම මට්ටමින් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත. එමෙන්ම සහල් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රට තුළ ප්‍රමාණවත් සහල් තොග පවතින බවත්, ඉදිරි මාස 3ත් 4ත් අතර කාලයකට අවශ්‍ය අතිරික්ත සහල් නිෂ්පාදනයක් දැනටමත් සතුව පවතින බවත්ය.














