මගී ප්‍රවාහන බස් රථ සඳහා සතියකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 60 සිට 360 දක්වා වූ පරාසයක් දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා අද (2026 මාර්තු 16) ප්‍රකාශ කළේය. ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, එක් එක් බස් රථය ධාවනය කරනු ලබන දෛනික දුර ප්‍රමාණය පදනම් කරගනිමින් මෙම ඉන්ධන කෝටාව තීරණය වන බවයි.
පවතින බලශක්ති අර්බුදය හමුවේ මගී ප්‍රවාහන සේවාවන් අඩාල වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. නව QR ක්‍රමවේදය හරහා මෙම ඉන්ධන නිකුත් කිරීමේ ස්ථිර වැඩපිළිවෙළ සකස් කරන තෙක්, බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) හරහා සිදු කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම පියවර හරහා දුර සේවා සහ කෙටි සේවා බස් රථ සඳහා තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වඩාත් විධිමත් ලෙස ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. ලෝක දේශපාලනික අර්බුද හේතුවෙන් ඉන්ධන කළමනාකරණය කිරීමට සිදුවුවද, පොදු ප්‍රවාහන සේවාවට ඉන් එල්ල වන බලපෑම අවම කිරීම රජයේ අරමුණ බව මෙහිදී අවධාරණය කෙරිණි.














