රට තුළ පවතින ඉන්ධන කළමනාකරණ ක්‍රියාවලිය හමුවේ වුවද, රෝගී සත්කාරක සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සියලුම ගිලන් රථ විශේෂිත කාණ්ඩයක් (Special Category) යටතට ඇතුළත් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා අද (2026 මාර්තු 16) ප්‍රකාශ කළේ, හදිසි සේවාවන් සඳහා කිසිදු බාධාවකින් තොරව ඉන්ධන ලබා දීම රජයේ ප්‍රමුඛතාවය බවයි.
සාමාන්‍ය වාහන සඳහා QR ක්‍රමවේදය යටතේ සතිපතා ඉන්ධන කෝටාවක් නියම කර තිබුණ ද, ගිලන් රථ සඳහා එම සීමාවන් බලපෑමක් නොවන පරිදි අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලබා ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. ඒ අනුව, රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම ගිලන් රථ සඳහා දිවයින පුරා පිහිටි ඛනිජ තෙල් පිරවුම්හල්වලින් මෙන්ම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට (ලංගම) අයත් ඩිපෝ මඟින් ද ඉන්ධන ලබා ගැනීමේ පහසුකම් සලසා දී ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය නිසා ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට රජය තීරණය කර ඇති පසුබිමක, සෞඛ්‍ය ක්ෂේත්‍රය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මෙලෙස ප්‍රමුඛතාවය ලබා දීම ජනතාවගේ ආරක්ෂාව සහ යහපත තහවුරු කරන්නක් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














