මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින්, රටේ අත්‍යවශ්‍ය සේවා සහ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (16) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. බලශක්ති පරිභෝජනය කළමනාකරණය කරමින් ජන ජීවිතය සුරක්ෂිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
බලශක්ති පරිභෝජනය සීමා කිරීම සඳහා රාජ්‍ය සේවයට එක් දිනක නිවාඩුවක් ලබාදීම සහ නිවසේ සිට රාජකාරී කිරීමේ (Work from Home) ප්‍රායෝගික හැකියාව පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු විය. නිලධාරීන් සේවා ස්ථානය වෙත කැඳවීම පිළිබඳ තීරණ ගැනීමේ බලය ආයතන ප්‍රධානීන්ට පැවරීමටත්, රාජ්‍ය උත්සව තාවකාලිකව නතර කිරීමටත් මෙහිදී යෝජනා වී තිබේ.
දෛනික ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කිරීම සඳහා QR ක්‍රමය වඩාත් විධිමත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. එක් එක් අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය දත්ත ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයට කඩිනමින් ලබා දීමටත්, ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා ඉන්ධන මුදාහැරීමේ ප්‍රමාණය තීරණය කිරීමට විශේෂඥ කමිටු වාර්තාවක් අද දිනය තුළම ලබා ගැනීමටත් තීරණය කර ඇත.
කෘෂිකර්ම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවලට එල්ල වී ඇති බලපෑම් අවම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අවධාරණය කළේය. පවතින තත්ත්වය හමුවේ ආර්ථිකයට එල්ල වන බලපෑම් අවම කර ගැනීමට සහනාධාර ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.














