මගී ප්‍රවාහන බස් රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 60 සිට 360 දක්වා වූ පරාසයක් දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා අද (16) ප්‍රකාශ කළේය. ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එක් එක් බස් රථය ධාවනය කරනු ලබන දුර ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මෙම ඉන්ධන කෝටාව තීරණය කිරීමට පියවර ගෙන තිබේ. නියමිත ස්ථිර ක්‍රමවේදය සකස් කරන තෙක් පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝ හරහා ලබාදීමට ද කටයුතු යොදා ඇත.
දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ 103 මඟින් පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන නිකුත් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන මහතා මෙහිදී වැඩිදුරටත් තහවුරු කළේය. මෙම පියවර හරහා පවතින බලශක්ති අර්බුදය හමුවේ පොදු ප්‍රවාහන සේවාව බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරේ.














