ඇපල් (Apple) සමාගම සිය නවතම ප්‍රිමියම් හෙඩ්ෆෝන් මාදිලිය වන AirPods Max 2 අද (16) නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දුන්නේය. නව Apple H2 චිප් තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම නව මාදිලිය වඩාත් පැහැදිලි ශබ්ද පාලනයක් සහ ස්මාර්ට් විශේෂාංග රැසකින් සමන්විත වේ.
මෙහි ඇති සක්‍රීය ශබ්ද අවලංගු කිරීමේ (Active Noise Cancellation – ANC) පද්ධතිය පෙර මාදිලියට වඩා 1.5 ගුණයක් ශක්තිමත් කර ඇති බව ඇපල් සමාගම පවසයි. එමඟින් ගුවන් යානා එන්ජින් හඬ, මාර්ගයේ වාහන ශබ්ද වැනි බාහිර බාධා අවම කරමින් ඉතා පැහැදිලිව සංගීතයට සවන් දීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ.
මීට අමතරව 24-bit lossless playback පහසුකම හරහා ඉතා උසස් තත්ත්වයේ ශබ්ද රටාවන් රසවිඳිය හැකි අතර Adaptive Audio සහ Conversation Awareness වැනි නවීන අංග ද මෙයට ඇතුළත් කර ඇත. නව high dynamic range amplifier පද්ධතිය හරහා ශබ්දයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවා ඇති බව ඇපල් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.














