ඉරාන මිලිටරි ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆගාරි (Ebrahim Zolfaghari) පසුගිය සඳුදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සෘජු අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කළේ, පවතින යුද්ධයේ අවසානය තීරණය වන්නේ සමාජ මාධ්‍ය හරහා නොව යුද පිටියේදී බවයි. යුද්ධය කොපමණ කාලයක් පවතින්නේද සහ එය අවසන් වන්නේ කවදාද යන්න තීරණය කරන්නේ ඇමරිකාව නොව ඉරානය බව අවධාරණය කළ ඔහු, “ඔබ යුද්ධය ආරම්භ කළා, නමුත් එය අවසන් කරන්නේ අපයි” යනුවෙන් දැඩි ප්‍රකාශයක් නිකුත් කළේය.
මෙම මිලිටරි ප්‍රකාශය හරහා ඉරානයේ අසල්වැසි කලාපීය රටවල් වෙත ද විශේෂ පණිවිඩයක් ලබාදී ඇති අතර, ඉරානයේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමටත් ඇමරිකානු ප්‍රහාර හමුවේ ස්වයං ආරක්ෂාව තහවුරු කර ගැනීමටත් තමන්ට ඇති අයිතිය එහිදී අවධාරණය කෙරිණි. කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරුවල සිට ඉරානයට එල්ල වන ඕනෑම ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, එවැනි ප්‍රහාර එල්ල වුවහොත් ඒ සඳහා දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවත් ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) සහ විදේශ අමාත්‍යාංශය අවධාරණය කරන්නේ ඉරානය සිය අසල්වැසි රටවල් සමඟ යුද්ධයකට එළඹීමට අදහස් නොකරන බවයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ඉරාන භූමියට ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිත කරන ඇමරිකානු මිලිටරි මධ්‍යස්ථාන පමණක් බවත්, කලාපීය රටවල ආරක්ෂාවට ඉන් තර්ජනයක් නොවන බවත් ඉරාන බලධාරීන් පවසා සිටී.














