බුත්තල, මහගොඩයාය ප්‍රදේශයේ වගා බිමක තිබී වනඅලියෙකුගේ මළ සිරුරක් ඊයේ (16) උදෑසන බුත්තල පොලිසිය විසින් සොයාගෙන තිබේ. වනජීවී නිලධාරීන් විසින් සිදුකළ මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, වගා පාලු කරන වනසතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා ගොවියෙකු විසින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මෙම අලියා විදුලිසැර වැදී මියගොස් ඇති බවයි. මියගිය සත්වයා වයස අවුරුදු 15ක් පමණ වන, අඩි 7ක් උසැති හොඳින් වැඩුණු පිරිමි සත්වයෙකු බව වනජීවී නිලධාරීහු පවසති.
මෙම අනවසර විදුලි උගුල ඇටවූ බවට සැකපිට 40 හැවිරිදි ඉඩම් හිමියා බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මොණරාගල වනජීවී කාර්යාලය සහ බුත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.















