පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අන්තර්ජාල ව්‍යාපාර (Online Businesses) සහ කුරියර් සේවා (Courier Services) සම්බන්ධයෙන් දැඩි නියාමන පද්ධතියක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව වෙළඳ සහ වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන භාණ්ඩවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය වෙළඳපොළේ පවතින භාණ්ඩවලට සමානව පවත්වාගෙන යාම මෙහි ප්‍රධාන අරමුණයි. එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමයට සමගාමීව පාරිභෝගිකයන් මුළා කරන අයුරින් අලෙවි කෙරෙන බාල ප්‍රමිතියෙන් යුත්, කල් ඉකුත් වූ හෝ අනාරක්ෂිත භාණ්ඩ පාලනය කිරීම සඳහා මාර්තු 18 වනදා සිට විශේෂ පාරිභෝගික ආරක්ෂණ වැඩසටහනක් ද ආරම්භ කිරීමට නියමිතය.
මෙම නව වැඩපිළිවෙළ යටතේ අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන්නන් සහ ඒවා බෙදාහරින කුරියර් සේවාවන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන අතර, එමගින් පාරිභෝගික පැමිණිලි සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සෘජුවම වගකීමට බැඳී සිටිය යුතුය. සහතික නොකළ හෝ මහජන සෞඛ්‍යයට අහිතකර භාණ්ඩ බෙදාහැරීමෙන් වළකින ලෙස අමාත්‍යවරයා කුරියර් සේවාවන් වෙත අනතුරු ඇඟවීමක් ද සිදු කළේය. පාරිභෝගිකයන්ට පවතින ඕනෑම ගැටලුවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකය හරහා දැන් සෘජුවම දැනුම් දිය හැකිය.














