ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම නා වනාන්තරය මෙන්ම සුවිශේෂී පාරිසරික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ‘ජාතික නාමල් උයන’ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. හෙක්ටයාර 602ක භූමි ප්‍රමාණයක පැතිර පවතින මෙම වනාන්තර පද්ධතිය සහ එහි පිහිටි දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා කඳුවැටිය මෙරට වැදගත්ම භූ-ස්වභාවික උරුමයක් ලෙස හඳුනාගෙන ඇත. රෝස තිරුවාණා කඳු වැටියට අනන්‍ය වූ විද්‍යාත්මක ලක්ෂණ, වියළි කලාපීය වනාන්තර පද්ධතිය සහ එහි පවතින පැරණි බෞද්ධ ආරාම සංකීර්ණවල නටබුන් මෙම ස්ථානය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික උරුම හඳුනා ගැනීම සඳහා වන විද්වත් අනුකමිටුවේ නිර්දේශය මත බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත. වසර ගණනාවක් පුරා වනවාසී රාහුල හිමියන්ගේ කැපවීම මත සුරක්ෂිත වූ මෙම භූමිය ජාතික උරුමයක් බවට පත්වීම හරහා එහි සංරක්ෂණ කටයුතු වඩාත් විධිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග අර්බුදය සහ ඉන්ධන හිඟය හමුවේ මෙරට සංචාරක ක්ෂේත්‍රයට දේශීය උරුමයන්ගේ වටිනාකම අවධාරණය කෙරෙන මෙවැනි තීරණ ඉතා වැදගත් වේ.














