පවතින ඉන්ධන අර්බුදය හමුවේ QR ක්‍රමවේදයට පිටින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වල බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා දැඩිව අවධාරණය කරයි. අද (17) “අද දෙරණ BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, QR පද්ධතියේ පැවති තාක්ෂණික ගැටලු මේ වන විට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇති බැවින්, මින් ඉදිරියට එම ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට කිසිදු ඉඩක් නොමැති බවයි. පවතින තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා QR කේතය භාවිත කිරීම අනිවාර්ය වන අතර, කිසියම් පිරවුම්හලක් නීතිවිරෝධී ලෙස ඉන්ධන ජාවාරම් කරන්නේ නම් ඒ පිළිබඳව වහාම පොලීසියට හෝ තෙල් සංස්ථාවට තොරතුරු ලබා දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
රටට අවශ්‍ය බොරතෙල් නෞකාවක් ඉදිරියට තහවුරු කරගන්නා තෙක් ඉන්ධන ලබාගැනීමේ යම් අවදානමක් පවතින බව පෙන්වා දුන් සභාපතිවරයා, ඉන්ධන ගබඩා කර තැබීම ද නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අද සිට පොලීසිය යොදවා ඇති බවත් සඳහන් කළේය. සංස්ථාව විසින් ලබා දුන් ඉන්ධන ප්‍රමාණය සහ නිකුත් කළ ප්‍රමාණය අතර යම් පරස්පරතාවක් වුවහොත්, අදාළ පිරවුම්හල්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය. මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට ඩොලර් 103 මට්ටමේ පවතින මෙවැනි අවස්ථාවක, පවතින සීමිත සම්පත් සාධාරණව බෙදා හැරීම රජයේ මූලික අරමුණ වී තිබේ.














