රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්තියට සමගාමීව දිවයින පුරා පිහිටි පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 1,264ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන පද්ධතිය තුළ පවතින සම්පත් බෙදී යාමේ විෂමතාව අවම කිරීම සහ සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
වසර 03ක කාලයක් (2026-2028) පුරා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් යල් පැන ගිය කාර්යාල ව්‍යූහයන් නවීකරණය කිරීම සහ අවශ්‍ය නවීන උපකරණ ලබා දීම සිදු කෙරේ. අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ මෙම යෝජනාව හරහා ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන පරිපාලනමය බාධා ඉවත් කර වඩාත් ගුණාත්මක අධ්‍යාපන සේවාවක් සහතික කිරීමට අපේක්ෂිතය. මැදපෙරදිග යුද අර්බුදය හමුවේ රජය “බදාදා නිවාඩුව” වැනි සීමා පනවා ඇති පසුබිමක වුවද, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිගුකාලීන සංවර්ධනය වෙනුවෙන් මෙවැනි මූල්‍ය ආයෝජනයක් සිදු කිරීම විශේෂත්වයකි.















