මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හමුවේ ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල වී ඇති දැඩි බලපෑම සලකා බලා, සිය මෝටර් රථ භාවිතය අවම කරන ලෙස ඩෙන්මාර්ක රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ. ඩෙන්මාර්ක බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ රිය පැදවීම අත්‍යවශ්‍ය නොවන සෑම අවස්ථාවකම එයින් වැළකී සිටීම රටේ බලශක්ති සුරක්ෂිතතාවයට මහඟු පිටුවහලක් වන බවයි.
ඉරාන යුද වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට ඩොලර් 103 දක්වා ඉහළ ගොස් ඇති අතර, යුරෝපා රටවල් බොහොමයක් මේ වන විට සිය බලශක්ති පරිභෝජනය සීමා කිරීමට පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකාව තුළ ද ඉන්ධන පිරිමැසීමේ අරමුණින් රජයේ සේවකයන්ට “බදාදා නිවාඩුව” ලබා දීම, පොදු ප්‍රවාහනය සීමා කිරීම සහ පාසල්වල ඉන්ධන භාවිතය අවම කිරීමට උපදෙස් දීම වැනි දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති පසුබිමක, ඩෙන්මාර්කය වැනි දියුණු රටවල් ද මෙලෙස ස්වයං-සීමා පැනවීමට ජනතාව දිරිමත් කිරීම විශේෂත්වයකි.
පවතින මෙම ගෝලීය තත්ත්වය හමුවේ Google Maps වැනි තාක්ෂණික මෙවලම් Gemini AI ආධාරයෙන් ගමන් මාර්ග සැලසුම් කිරීමට සහ ඉන්ධන පිරිමැසීමට නව විශේෂාංග හඳුන්වා දෙමින් සිටින අතර, එය රියදුරන්ට මහඟු සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














